සරුංගලේ (කෙටිකතාවකි)

 

 




"අක්කේ.. යමුද සරුංගලේ අරින්න."

"අනේ මල්ලී, ඉස්කෝලෙ ඇරිල ආව විතරනේ..
  තව අව්වත් සැරයි."


මම අදිමදි කළෙමි. එහෙත් මල්ලීගෙන් බේරෙන්න බැරිම තැන මල්ලීද කැටුව මම වෙලට ගියෙමි.ඒ වන විටත් තවත් ළමයි කීපදෙනෙක් වෙලේ තැන තැන සරුංගල් අරිමින් සිටියහ. මල්ලීත් මමත් වෙලේ ගල් පොත්තක් උඩට ගොස් සරුංගලය ඇරියෙමු. සුළඟ සැර නිසා සරුංගල් කීපයක්ම උඩට ඇදෙමින් තිබුණි. හෝරා කීපයක්ම සරුංගලය උඩට ඇදෙමින් තිබුණි. ළමා ළපටියෝ ඔල්වරසන් දෙමින් ප්‍රීතිඝෝෂා නැගූහ. 


ඇඳිරි වැටී ඇති මොහොත දක්වාම ඈත අහසේ පාවුන සරුංගල් බිමට බෑමට කවුරුත් යුහුසුළු වූහ. ගෙදරට පැමිණි විගස මල්ලී ද මම ද ඇඟපත සෝදා ගත්තෙමු. විගසින් රෑ කෑම කා මල්ලී  වේලාසනින්ම නින්දට ගියේය. 

"අක්කේ! අක්කේ! සරුංගලය කැඩුනා. අහසෙ පාවෙනවා.අනේ මගෙ සරුංගලේ .."

මල්ලී මහ හඬින් හඬන සද්දය දෙසට මමත් අම්මත් දිව ගියෙමු. මල්ලී ඇඳේ වාඩි වී ඒ මේ අත බලමින් සිටියේය.

"පුතා, ඔයා හීනයක් දැක්කද"?


අම්මා විගස මල්ලී ළඟට ගොස් ඇඟ අත ගෑවාය. 


"පුතේ, ඔයාට හොඳටෝම උණ. පෙනඩෝල් පෙත්තක් බීල නිදාගන්ඩ. උදේට බේත් ගේන්ඩ යමු".

අමමා බේත් පෙත්තක් මල්ලීට දී නිදි කෙරෙව්වාය. මම ද නින්දට  ගියෙමි.

පසුදා මම පමණක් පාසල් ගියෙමි. තාත්තා වැඩට ගියේය. අම්මා මල්ලීත් සමඟ ඉස්පිරිතාලෙට යන බව කීවාය. මා පාසල් ගිය ද නිතරම මල්ලී සිහියට නැගුණි. පාසල් බසයට නැගි මා ඉක්මනින් ගෙදර ආවෙමි. කිසිවෙක් දක්නට නොවූහ. අත්තම්මා සැටියේ වාඩි වී සිටියාය.

"අත්තම්මේ! කෝ අම්මා, කෝ මල්ලී ."

මම ඉවසිලිමත්ව ඇසුවෙමි. "දුවේ මල්ලි ඉස්පිරිතාලෙ නතර කරගෙන. අම්මත් මල්ලි ළඟ." මම හයියෙන් හඬනගා හැඬුවෙමි. "අඬන්ඩ එපා පුතේ. මල්ලි ඉක්මනට සනීප වෙලා ගෙදර එයි." අත්තම්මා කීවාය. මම අඬඅඬා  ඇඳට වැටුණෙමි. මා නින්දෙන් අවදි වන විට රෑ දහයෙ කණිසම ද ගෙවී ගොස්ය. මුළු ගේම පාළුය. තාත්තා ද සැටියේ දිග ඇදී සිටියේය. අත්තම්මා මට බත් කටවල් දෙක තුනක් කැව්ව ද ඒ බඩගිනි නිසා කෑවා නොවේ. 

මා පහුවදා අවදි කළ අත්තම්මා පාසල් යාමට සියලු දේ පිළියෙල  කර දුන්නාය. 

" අත්තම්මේ.. මට ඉස්කෝලේ යන්ඩ බෑ".මම කීමි.
"අනේ පුතේ යන්ඩ. අද මල්ලිගෙ ටිකට් කපනව කීවනේ.ඔයා එනකොට මල්ලි ගෙදර ඇවිත් ඉඳීවි".
අත්තම්මා කීවාය.

මගේ සිත සතුටින් ඉපිලිණි. දැඩි ආයාසයෙන් මම පාසල කරා ගියෙමි. පාසල ඇරෙන මොහොත වනතුරු මා  බලා සිටියේ නොඉවසිල්ලෙනි. බසයෙන් බැසගත් මම නිවස කරා ඇදුනෙමි. කීපදෙනෙක්ම තැන තැන කතා කරමින් සිටිනු මම දුර තබාම දුටුවෙමි. මට අදහාගත නොහැක.  සියල්ලෝම මා දෙස බලා සිටිනු පෙනේ. ගෙදරට ළංවත්ම හීන් කෙඳිරිලි හඬ මට ඇසුණි. අදහාගත නොහැක.

"අනේ මල්ලි පෙට්ටියක් ඇතුලෙ" ,මට මතක එපමණයි.

නැවත මා අවදිවන විට සිටියේ ඉස්පිරිතාලෙ ඇඳක් මතය. චූටි නැන්දා පසෙකින් සිටියි. "නැන්දේ"... මම නැන්දා බදාගෙන ඇඬුවෙමි. දැන් මට සිදුවී ඇති දේ වැටහේ.

"පුතේ, අඬන්ඩ එපා.. ඔයා ආයෙත් අසනීප වෙයි." නැන්දා  මා සැනසුවාය. දින දෙකක්ම මම ඉස්පිරිතාලෙ නැවතී සිටියෙමි. ගෙදර එන විට මල්ලිගේ අවසන් කටයුතු නිමා කර තිබිණි.

Comments

Post a Comment

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..

ඉරණම..(කෙටිකතාවකි )