ඉරණම..(කෙටිකතාවකි )





" සීතා.. ඔයා මොකද කරන්නෙ, දරුවා ඉස්කෝලෙ ගියාද?"


"ඔව් ඔව්, ඔයා තාමත් නිදිද? 

 තේ හැදුවා

 ඇවිත් බොන්න"



පාසල් මුර සේවයේ යෙදුණු අමරේ පාන්දරම පැමිණ නිදයි. තරමක නින්දකින් අවදිවන අමරේ  මූණ කට සෝදා උදය ආහාරය සප්පායම් වෙයි. ගොවිතැන් කටයුතුවලට ආසාවක් දක්වන ඔහුට සශ්‍රීක එළවළු වගාවක්ද ඇත.  මඩ ගොවිතැන් කිරීමට ඔහුට  කුඹුරු නැත.


සීතාගේ කැපවීම මතම මිස ශෙහාන්ට පහ ශිෂ්‍යත්වය  ජය ගැනීම උගහටය. දැන් ඔහු හත් වසරෙ ඉගෙනුම ලබයි.  ශෙහාන් ඉගෙනීමට දක්ශයෙකි.  සීතාත් අමරෙත් ඉන් ලබන්නේ අපමණ සතුටකි.



වැඩි කලක් ඒ සතුට ලැබගන්නට ඔවුන්ට නොහැකි වූයේ අමරේ දරුණු රෝගාබාධයකින් පෙලුණ නිසාවෙනි.  ඔහු නිතරම තුනටියෙ ආබාධයකින් වේදනා විඳියි.  නිතර නිතර රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටි අමරේගේ රෝගී තත්වය උත්සන්න වී රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට සිදුවිය.


වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලින් හෙලිවූයේ ස්නායු දුර්වලතාවයක් ගැනය. සැත්කමක් කිරීමට අවශ්‍ය වූ බව පැවසීය. සැත්කමක් කිරීමට පෙර ඔහුගේ දෙපා පණ නැතිවිය. වෛද්‍යවරු කළ කිසිඳු බෙහෙතකින් ඔහුට ප්‍රතිඵලයක් නොවීය. සීතා ඇදවැටුණේ අදහාගත නොහැකි තත්වයකටය.


දරුවාගේ ඉගෙනීමේ කටයුතු  හා සැමියාගේ වැඩ කොටසට ඈ දැන් උර දෙන්නේ තනිවමය. සැමියාට රැකියාවට යාමටද නොහැකිය. එය විශ්‍රාම වැටුපකට හරවාගත් ඇය දැන් යැපෙන්නේ ඒ ලැබෙන සොච්චමෙනි. දරුවා වෙනුවෙන්ද ලොකු වියදමක් වැය කිරීමට සිදුව ඇත.


ශෙහාන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියි. ඔහුට ගුරුවරුන්ගෙන්ද උදව් උපකාර ලැබේ. සීතාද ඇගලුම් කම්හලක සේවයට යාමට මඟ පෑදී තිබුණත් සැමියා තනිකර යාමට ඈ අකමැති වූවාය. අගහිඟකම් මැද වුවද ඈ සකසුරුවමින් ජීවිතය ගෙන ගියාය. ඉහළින්ම සාමාන්‍ය පෙළ සමත් වූ ශෙහාන් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනීම කළේය. කාලය ගෙවී ගියේ කාටත් හොරාය. වරින්වර දැඩි වේදනා විඳිමින් අමරේ කඳුළු සලන වාර අනන්තය. ඔහු නිතර සිතන්නේ සීතාත් ශෙහානුත් ගැනය.


"සීතා ,මගෙ තුනටියෙ අමාරුව ආයෙමත් වැඩි වෙලා   වගෙයි.හරිම වේදනාවයි. කරුම ලෙඩක්. අනේ ඔයත්   දරුවත් තනි වෙනවා. ශෙහාන් ගැන නම් බයවෙන්න දෙයක් නෑ. තව අවුරුදු තුනකින් ශෙහාන් දොස්තර මහත්තයෙක්. එතකොට මන් ජීවතුන් අතර නැතිවෙන්නත් පුලුවන් ."


"මොනවද අමරෙ ඔය කියන කතා.  දෙවියන්ගෙ   පිහිටයි.   ඔයාට  මුකුත් වෙන්නෙ නෑ.  මේ බේත් ටික   බීලා   නිදාගන්න."


      සීතා කටහඬ අවදි කළාය. ඈ එසේ කීවද ඇගේ යටි හිත රිදුම් කවයි. ඔහුගේ දුබලතාවය ටිකින් ටික වැඩි වේ. ඇයද සිටින්නේ බලවත් සිත්තැවුලෙනි.

ශෙහාන් නිවාඩුවක් ලැබී ගෙදර ඇවිත් සිටියේය.

දිනෙක රාත්‍රියේ අමරේට අමාරු විය.  ඉක්මනින් වාහනයක් ගෙන්වා ඉස්පිරිතාලෙට එක්කගෙන ගියේ ශෙහාන් ය. සීතාද ඒ සමඟ ගියාය. ශෙහාන් අමරෙ ලඟ නතර විය.


     සීතා ගෙදර ආවාය. රෑ පුරාවටම  නිදිවරා දහසක් සිතිවිලි මැද සීතාට නින්ද ගියේ අලුයම යාමයේදීය.


       "අම්මේ.. තාත්තා අන්ත්‍රා වුණා."

  
සීතා කලබලෙන් අවදි වූයේ සිහිනයක් දුටුවාදෝ සිතමිනි.  එහෙත් එය සත්‍යක් බව වැටහුණේ ශෙහාන් දැකීමෙන් ය.


         "පුතේ තාත්තාට කොහොමද ?"


   ඇසුන දේ හරි හැටි දැනගැනීමට  ඈ ශෙහාන්ට කතා කළාය.

          "අම්මේ.. තාත්තා අන්ත්‍රා වුණා."


සීතා පුතාව වැලඳගත්තේ වාවා ගත නොහැකි ශෝකයෙනි. ඈ විලාප නැගුවාය. අසල නිවෙස්වල සිටි බොහෝදෙනෙක් ඒ හිමිදිරි පාන්දරම අමරෙගෙ නිවස කරා ඇදී ආහ. එදිනම හවස් වන විට  මිනිය නිවස කරා ගෙන ආවේය.  අවසන් කටයුතු ඊලඟ දිනයේදී සිදුවිය.


    සතියක් පුරාවට අවට නිවැසියන්ගේ නෑදෑ හිත මිතුරන්ගේ උදව් උපකාර මත දානමය පින්කම්වලින් වැඩ කටයුතු නිමාවට පත්විය. සියලුදෙනාගෙන්ම හිස් වූ නිවෙස් දැන් පාළුවට ගොස් ඇත.

    පසුව ශෙහාන්ගෙ ඉගෙනීම් කටයුතුවලට ඔහු නැවතී සිටින බෝඩිමට යා යුතුව ඇත. එහෙත් අම්මා තනිකර යාම උගහටය. උභතෝකෝටික  ප්‍රශ්නයකි. අම්මා කිසිවකුගේ නිවසක රැඳී සිටීමට අකමැතිය. අම්මා සමඟ නිවසේ සිටීමටද කිසිවෙක් නොමැත. සිතිවිලි දාමයක වෙලී සිටි ශෙහාන් ඉබේම නින්දට වැටිණි.


    පසුදා ශෙහාන් අම්මාට කතා කළේය.

"අම්මේ.. කවුරුවත් නැතුවට අම්මට තාම   උයාපිහාගෙන කන්න පුලුවන්නෙ

 රෑට තනි නොතනියට ගුණසීලි නැන්දට ඇවිත් ඉන්න   
 කියන්නම්.

 මටත් නිවාඩුවට ඇවිත් යන්න පුලුවන්නෙ ."
 

"ඔව් පුතේ.. ඕක මොකක්ද ? මට ඉන්න පුලුවන් .පුතා   බය වෙන්න එපා. පුතා හොඳට වැඩ ටික කරල   ඉගෙන   ගන්ඩ. එච්චරයි  ඕනෙ මට."

        සීතා දරුවාට බර පැටවීමට කැමති නැත.
    
ශෙහාන් අම්මාගේ දෙපා වැඳ බෝඩිම කරා යාමට පිටත් විය. සීතා ද වේදනාව මැඩගෙන පුතාට සෙත් පැතුවාය. 

කාලය  ඉක්මනින් ගෙවී ගියේය.  මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙක් හැටියට අවුරුද්දක් සේවය කළ ඔහුට ශිෂ්‍යත්වයක්  ලැබී විදෙස්ගත වීමට සිදුවිය. තවත් ඔහු සමඟ පුහුණුව ලැබූ මාලතී ඇතුළු යහළුවන් කීපදෙනෙක් ද මේ ගමනට සූදානම් වූහ.


සීතාද දැන් දැන් සුළු අසනීපවලින් පෙළෙන්නීය.  පුතා සිහිකරමින් නිතර තැවෙන්නීය. විදෙස්ගත වීමට දින දෙක තුනකට පළමුව ගෙදර ආ ශෙහාන් කීවේ තමා රට යන බවයි. නැවත ආපසු කවදා ඒවිද යන්න තමා නොදන්න බවත් පැවසුවේය. සීතා හදවතින් හඬා වැටුණාය. නමුත් ඇය පුතාට ඒ වග නොපෙන්නුවාය.

  "පුතේ .. පුතාගෙ යහපතටනෙ යන්නෙ.

    මම දැන් වල පයයි ගොඩ පයයි.

    පුතාට තුනුරුවන් සරණයි."


"අම්මේ .. ඔයා වැඩිහිටි නිවාසෙකට භාර දෙන්නම්.
ඒ අය හොදින් බලා ගනීවී.
මම අම්මගෙ වියහියදම් සේරම නිවාසෙ ප්‍රධානියාට  මාසයක් පාසා එවනවා
අම්මට තියෙන්නෙ ඒ අය කියන විදියට සතුටින් ඉන්න විතරයි.
එහෙම හොදානේ අම්මේ"


"හා .. හා.. පුතා යන්ඩ"


පහුවදාම සියලු වැඩ කටයුතු සිදුකළ ශෙහාන් අම්මා වැඩිහිටි නිවාසෙකට භාර කළේය. ඔහුද යහළුවන් සමඟ විදෙස්ගත විය. ඔවුන් විසූ නිවසද සීතාටද නොකියා විකුණා දැම්මේය. නමුත් සීතාට නිවස අතහැර ඒම පුතා ළඟ නැති සොවටත් වඩා වේදනාකාරීය. නිවසින් පිටත ගත කළ දවසක් ඇයට අමතක තරම්ය .


 
          සියලු සිත් තැවුල් වාවාගත් ඈ වැඩිහිටි නිවාසෙට හුරු විය. ඔවුන් සමඟ සමගියෙන් ජීවත්වෙමින් උදේ සවස කරන පුද පූජා වත්පිළිවෙත්වලට සහභාගි වූවාය. වෙනදාට වඩා ඇය දැන් බැතිබර උපාසිකා මාතාවකි. දිනපතා පුතා සිහිකරමින් සෙත් පැතුවාය. දැන් ශෙහාන්ට වැඩ කටයුතු බහුලය. අම්මා ගැන සොයා බැලීමට තරම්වත් කාලයක් නොමැත.
 

     නෑදෑයන්ගෙන් ඈත් වුවද ඔහුට මිතුරෝ බොහෝ වූහ. මාලතීද ඔහුගේ රෝහලේම සේවය කරන්නීය.
වසර ගණනාවක මිතුදම මේ වන විට ප්‍රේම සම්බන්ධතාවකට පෙරළී තිබුණි. ඔවුන්ගේ එක්වීමද ඉක්මනින්ම සිදුවුණි. 

    දැන් ශෙහාන් දරු දෙදෙනෙකුගේ සුරතල් බලන පියෙකි. අම්මත් තාත්තත් තමන්ව සුරතල් කළ අයුරු මැවි මැවී සිහියට නැගෙන්නේ තම සිඟිති දරුවන් තමා සමඟ කුලුපගව සුරතල් වන විටය.

   මව්පිය සෙනෙහෙ සිහියට නැගෙන විට කාලය බොහෝ දුර ඉගිල ගොස් ඇත.

  එදා පසළොස්වක පොහොය දිනයකි. සීතා ගතින් කෙතරම් දුබල වුවත් පාන්දරින්ම අවදි වී පෙහෙවත් සමාදම් වීමට සූදානම් වූවාය. වැඩිහිටි නිවාසයට  භික්ෂුන් වහන්සේලා වැඩම කොට දානයක් දීමට කටයුතු සූදානම් කොට තිබිණි. සීතාද ඉතා බැතිබරව ඒ සියලු කටයුතුවලට  සහභාගි වී බොහෝ කුසල් රැස් කර ගත්තාය. 

    වෙනදට වඩා ඇගේ හිත ගත ප්‍රබෝධමත් විය.තම පුතා සිහි කළාය. ඔහුට සෙත් පැතුවාය. මැදියම් රැය ගත වනතුරුම  බණ භාවනා කටයුතුවල යෙදුණාය. නොදැනුත්වම ඈ නින්දට වැටිණි.

  පසුදා හැමෝම අවදි වී සිටියද සීතා තවම නින්දේය.
"ඊයෙ හුඟක් රෑ වෙලානේ නින්දට ගියෙ."   හැමෝම කීවද ප්‍රධාන පාලිකාව සීතාගේ කාමරය ඇර බැලුවාය. ඈ බිත්තිය දෙසට හැරී නිදිය. පාලිකාව සීතාට කතා කොට ඇඟට අත තැබීය. ඇගේ ගත සීතල වී තිබිණි.  පාලිකාව අනිත් අයට කතා කොට " සීතාගෙ හුස්ම වැටෙන්නෙ නෑ . ඇය අන්ත්‍රා වෙලා.."කීවාය. හැමෝම එය අනුමත කළහ.

   
              **********************************
                                                               
                                                              මලීෂා ✍

Comments

Post a Comment

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..