සොඳුරු කවියා..

   

      පී.බී අල්විස් පෙරේරා

 





                           පී.බී අල්විස් පෙරේරා කවි ලියන්නට පටන්ගන්නා විට ලංකාව නිදහස් රාජ්‍යයක්ද වී නැත. සමාජ වෙනස්කම්  හා වෙනසවීම් ඔහු අත්වින්ඳේය. එනිසා පී.බී හට කල්පිත ලෝකයක් ගැන සිතනවාට වඩා තමා ජීවත් වන සමාජයේ පෙනෙන්නට දකින්නට ඇති සමාජ ගැටලු ගැන කවි ලිවීම වැදගත් වෙන්නට ඇත.


                   වේදනාව අසරණකම විසින් පාගා දමන ලද බොහෝ චරිත ගැන  සිය පෑන හසුරවන්නට ඔහු දෙවරක් නොසිතන්නේය.


     බලහත්කාරයෙන් ගත් වී කොටස         පවා
    ගබඩාවලට ගොවියගෙ කර උඩින්        යවා
    රුපියල් හයක් යන්තම් බුසලකට        ගෙවා
    සාධාරණය පෙන්වයි මුළු ලොවට         මවා


            මහා පරිමාණ වී වෙළෙන්දන්ගේ  කෙරුවාව ගැන ඔහු ලියුවේ එදා මෙලෙසිනි .දුප්පත් ,බෙලහීන හා කුලහීන ජනතාව ගැන ඔහුගේ  සිත පෙළූ වේදනාවේ ගැඹුර ඒ කවි පදවලින් රසික සිත් කම්පාවට පත් කරයි.


              පී.බී අල්විස් පෙරේරා හෙවත් පිලදුව බෝගමගේ අල්විස් පෙරේරා උපත ලබන්නේ 1917 මාර්තු 03 වෙනිදා කොල්ලුපිටියේදීය.ඔහු ලේක්හවුස්  ආයතනයේ හෙළදිව පුවත්පතේ කතුවරයෙක් වශයෙන් සේවය කොට ඇත.


             කාව්‍ය සංග්‍රහ විසිහතක් සහ ළමා කාව්‍ය විශාල ප්‍රමාණයක් මෙතුමා රචනා කොට ඇත. උක්දඬුදුන්න ,වරක් වැන්දොත් කැළණියේ, සොබාදහම ,රන්තලිය ,මිය ගිය කිරිල්ලී ,ඉරුණු කොඩිය ,සුදු මැණිකේ,දෙව්ලොව ගිය කම්මැලියා,ගොවි පෙරමුණ  එම කාව්‍ය අස්වැන්නේ කොටසක් පමණි.

                

                    ඔහු සිය කවීත්වය අතිශය කටුක වෘත්තීන්හී නිතර ජනතාවගෙ දුක වෙනුවෙන් කෙතරම් භාවිත කළත් දරුවන්ට ලියන 'නැළවි නැළවි'  යන කාව්‍යය ඊට මනා නිදසුනකි .


ගැඹුරු මුහුද තරඟ ඉරෙන හඬම කන     යැවේ
ඇසට පුරුදු නින්ද එකුදු දෙනෙත පිය      නොවේ
නැළැවී නැළවි නැළවි නැළවි සයුර මැද      නැවේ
ගමන තරම අරුම පුදුම සැපක් නැත       ලොවේ


              කවිය වූ කලී සෞන්දර්යය හා මිනිසා අතර ඇති  ප්‍රණීත සම්බන්දය එකට ගැට ගසා තබන කිසියම් ශක්තියකි. මිනිස් සිතෙහි ආධ්‍යාත්මික පාරිශුද්ධිය ඇති කිරීමට කවිය පමණ පහසු දෙයක් නැත.

            පී .බී අල්විස් සිය කවීත්වය තුළ ස්පර්ශ නොකළ සමාජ ස්ථරයක් නැත.එවන් කවියෙකු සැබෑ ලෙසින් ජීවමාන වූයේ වසර හතලිස්නමයක් වැනි කෙටි කාලයක් වුවත් තවත් දශක සිය දහස් ගණනක් සිය ප්‍රභාව විහිදුවන්නට පාඨක රසික ප්‍රජාවට ඔහු තිලිණ කර ඇත. එබැවින් සැබෑ කවියා නික්ම යෑමක් නොමැත. සිදුවනුයේ භෞතිකව පෙනෙන රූපකාය නොපෙනී යාමකි.

Comments

Post a Comment

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..

ඉරණම..(කෙටිකතාවකි )