කරදිය ගැඹරේ... ගීතය රසාස්වාදය





කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
         කිරි කැටි පුතුණේ...



අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහමං තැනුවේ 
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
          කිරි කැටි පුතුණේ ...


දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ 
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
          කිරි කැටි පුතුණේ ...




                                         ගී පද- ප්‍රේමකුමාර ජයවර්ධන 
                                    සංගීතය - රෝහණ වීරසිංහ 
                                    ගායනය - එඩ්වඩ් ජයකොඩි 
 



           මෙම ගීතය තුළින් අදහස් කරනුයේ වැඩ කරන ජනතාව ගැනයි. නමුත් මතුපිටින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් මේ තුළ ගැබ්ව පවතී . 


           " කරදිය ගැඹරේ" යන වචනය තුළින් අපට මතුපිට අර්ථය ලෙස සිතෙනුයේ මෙම මිනිසා ධීවරයෙකු වන බවයි.නමුත් ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් මෙහි අන්තර්ගත වේ.


          මුහුද යනු අප ජීවිතය හා සමානය. කුණාටු ,රැලි මුහුදට ආවේණික සේම අපේ ජීවිතයත් ඒ හා සමානව ගලා යයි. කෙටියෙන් කිවහොත් අපේ ජීවිතය ප්‍රශ්න පත්තරයකි.


           "කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ 
            නුඹගේ  දෑතට දිරිය වඩන්නයි
            සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
            කිරිකැටි පුතුණේ .."
 

        ' කිරි කැටි පුතුණේ'  යන වචනය මෙහිදී විශේෂ වේ. මෙයින් අදහස් කරනුයේ අනාගත පරපුර පිළිබඳවයි. තම දරුවන් ලොකු මහත් කිරීමට පියවරුන් සිදුකරන කැපවීම  මේ නිර්මාණය තුළ ධ්වනිතාර්ථවත් වේ. 


        'ගිනි අව් රස්නෙන්'  මෙම පැදි කොටසෙන් නැවත වතාවක් ගම්‍යමානවත් කරනුයේ ජීවිතයේ දුක් ගැහැට සහ ජීවිතයේ කර්කශ බව පිළිබඳවයි .මතුපිට අර්ථයෙන් පාරවල් තනන  කම්කරුවෙකු සිහියට නැගුණද යටිපෙළ අර්ථය වනුයේ ජීවිතයේ ඇති වන අපමණ ගැටලුය.එය කළුගල් නමැති වචනයෙන් සංකේතවත් වේ .


            "අව්වට වැගිරෙන දාඩිය වැස්සේ 
             කළුගල් කඩලා මහමං තැනුවේ 
             නිවහල් ලොවකට නුඹට වඩින්නයි"
             
          
        මෙහි ' නිවහල් ' යන්නෙන් අදහස් කරනුයේ ධනයට,බලයට වහල් නොවී  තමන්ගෙ ශක්තියෙන් දෙපයින් නැගී සිටීමයි.


              "දුම්රොටු  අතරේ කම්හල් ඇතුළේ 
                දැති රෝදෙට ගත ජීවය දුන්නේ
                නව මිනිසෙකු නව ලොවට පුදන්නයි"

         දැති රෝදයක් ගැන පැවසීම තුළ අපගේ මතකයට නැගෙනුයේ කර්මාන්ත ශාලාවකි. නමුත් මෙහි යටිපෙළ අදහස වනුයේ බලවතා බලය අහිමිවීමේ දැති රෝදයටත් ධනවතා ධනය අහිමිවීමේ දැති රෝදයටත් මුහුණ දෙන බවයි. එකිනෙකා ඉදිරියේ අනාරක්ෂිත දැති රෝද පවතී. නව මිනිසා පටු අදහස්වලින්  අත්මිදිය යුතුය. ඔහුට බියෙන් තොරව හිස කෙලින් තබා ගැනීමේ පරිසරයක් නිර්මාණය විය යුතුය.

       ගීතය යනු හුදෙක් ප්‍රේමය මත යැපීමක් ම නොවේ. එය ඕනම දිශාවක් කෙරේ විහිදීයයි.ප්‍රේමකුමාර ජයවර්ධනයන් මෙය පෙන්වාදෙන්නේ එම පුළුල් පරාසය තුළ ය. 



Comments

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..

ඉරණම..(කෙටිකතාවකි )