අලුත ගෙනා මනාලිය පද්‍ය රසාස්වාදය

හිස නමා ගති ඈ
සිහින් රතැඟිලි පටලවා ගති
සතියකට පෙර ගෙනා වර
විලිබරය මගෙ රන්වන් මනාලිය 



දැල් තිර අස්සෙන්
පෙනෙයි ඈ
ඔබ යනු මොබ එනු
පට පිළී ගෙන අබරණ පෙට්ටි ගෙන


ඇසෙයි 
නොපෙනෙන විටත් 
සාලයෙන් කාමරයට
කාමරෙන් සාලයට 
යන පා හඬ



මා වෙත එතත් ඈ 
උවමනාවක් කිසිත් නොමැතිව 
නොරැඳෙයි,පලා යෙයි


ගෑ විලවුනෙහි 
නැත රන්වන් සමෙහි 
හෙළන සුස්මෙහි සුවඳ ඒ
ඈ බඳ සුවඳ
දැනෙන්නේ මට විතරද?

පෙනෙයි  ඈ
ඇසෙයි
දැනෙයි
මට ගේ හැම තැන

              

                                                   - ජී බී සේනානායක -



            ශ්‍රී ලංකාවේ  නිසඳැස් පද්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා ලෙස ජී.බී.සේනානායක මහතා හැදින්විය හැකිය .ඔහු විසින් රචිත "පලිගැනීම " නම් කෙටිකතාවේ එන නිශ්ශබ්දතාවය නම් වූ නිසඳැස් කාව්‍ය තුළින් ලංකාවේ නිසඳැස් කාව්‍ය බිහිවීමට අවශ්‍ය පදනම සැකසුණි. මෙතුමා විසින් රචිත "අලුත ගෙනා මනාලිය " පද්‍ය පංතිය ද වඩාත් සුවිශේෂී වේ.


          මෙම කවි පංතියේ අරමුණ බවට පත්වන්නේ මනාලයෙකු තමාගේ නිවසට කැඳවාගෙන එනු ලැබූ මනාලිය පිළිබඳව ඔහු තුළ ඇතිවන අව්‍යාජාත්මක හැඟීම් වේ.

            මෙය උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන්  රචනා කර ඇත.  කවි පංතිය සමාරම්භයේදි අපට කවියා අවධාරණය කරන්නේ මනාලියගේ බාහිර ස්වරූපයයි. ඇයගෙ චරිත ස්වරූපය ,ඇයගෙ ඉරියව් යනාදිය  පැහැදිලිව කවියා පවසයි.


           අලුතින්   සිදු වූ  විවාහයක් අපට පෙන්නුම් කරයි. තවම ගතව ඇත්තේ සතියක පමණ කාලයකි. හිස පහතට නවාගෙන ඇය සිටින ආකාරය සහ ඇගේ ලැජ්ජාශීලිභාවය මනාව පෙන්නුම් කරයි.


         ජී බී සේනානායක මහතා සතු ධ්වනිතාර්ථවත් වචන භාවිතයක් ඇත." රතැඟිලි " යන යෙදුම නිදසුනක් වේ. එහි අදහස රක්ත වර්ණයෙන් යුතු අතෙහි ඇඟිලි  යන අදහසයි. මනාලයා විසින්  තම මනාලිය රූපකායෙන් අනූන බව සහ ඇය රූමතියක්   
  බව නොපවසයි. නමුත් ඔහුගේ ධ්වනිතාර්ථවත් බස් වහර තුළ එය මනාව ගැබ්ව තිබේ. මනාලියගෙ සුකොමළ බව ලැජ්ජාසහගත බව  මනාලයා සමඟ ඒකාත්මිකවීමක් දක්නට නොලැබේ.

     "   දැල් තිර අස්සෙන් 
         පෙනෙයි   ඈ 
        ඔබ යනු මොබ එනු
         පට පිළී ගෙන අබරණ පෙට්ටි ගෙන"

      
                    මනාලියගේ ගමන් ස්වරූපය ඍජුව නිරීක්ෂණයට  වඩා බාහිර අලංකාරත්වයක් දැල් තිර අතරින් නිරීක්ෂණයේදී  පෙනුණු බව මනාලයා වූ කථකයා පවසයි. "ඔබ යනු මොබ එනු" වශයෙන් අනුප්‍රාසාත්මක යෙදුම් පවා  මෙම සිදධි නිරූපණයේදී යොදාගෙන ඇත. ඇගේ අලංකාරය විඳිනුයේ ඍජුව නොව  දැල් තිර අතරින්ය.

                කවියා ඉතාමත් නාට්‍යෝචිත කාව්‍යමය පාඨයක් යොදාගෙන ඇත. මනාලිය ඍජුව නිරීක්ෂණය නොකළත් ඔහුගේ මනසට ඇය ගමන් කරන ආකාරය දැනෙයි. "සාලයෙන් කාමරයට කාමරයෙන් සාලයට " යන යෙදුම අපූරු පද සංඝටනයකි. සීමිත අවකාශයක් තුළ තවමත් ඇය සැරිසරන බව එහි අදහසයි.


               මෙම කවි පංතිය තුළ  සඳහන් වනුයේ ප්‍රේම සම්බන්ධතාවකින් විවාහපත් යුවළක් පිළිබඳ නොවේ.
යෝජිත විවාහයකි. එනිසා මනාලයා හා මනාලිය අතර යම් ලැජ්ජාශීලි ස්වභාවයක් දැකගැනීමට ලැබේ.

        " මා වෙත එතත්  ඈ 
        උවමනාවක් කිසිත් නොමැතිව 
         නොරැඳෙයි ,පලා යෙයි 


            තවම ඔවුන් පසුවනුයේ ලැජ්ජාශීලි  ස්වභාවය මතයි.

           "ගෑ විලවුනෙහි 
            නැත රන්වන් සමෙහි
            හෙලන සුස්මෙහි සුවඳ ඒ
            ඈ බඳ සුවඳ  දැනෙන්නේ 
             මට විතරද " 


               මෙම කාව්‍යමය පාඨය තුළින් ප්‍රේමය තුළ  පවත්නා වූ මමත්වය පැහැදිලි වේ.තමාගෙන්ම ප්‍රශ්න කිරීමට ලක්වීමකි.


                "පෙනෙයි ඈ
                   ඇසෙයි
                   දැනෙයි
                   මට ගේ හැමතැන"

             
           සෙමෙන් සෙමෙන්  නව ජීවිතයකට අනුවර්තනය වී කටයුතු  කරන ආකාරය කවියාගේ ජීවන දෘෂ්ටිය වේ.මනාලියගේ භූමිකාවේ සිට බිරිඳ දක්වා විතැන් වන ආකාරය මෙයින් විශද වේ.


             පූර්වෝක්ත කරුණු අනුව සුවිශද වනුයේ මිනිස් සිත තුළ ගැඹුරු තැන් සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත්ව ඇති බවත් ය.

Comments

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..

ඉරණම..(කෙටිකතාවකි )